ව්‍යාපාර උපදේශන ඒකකය (BCU)
කුළුබඩු නිෂ්පාදනවල ගුණාත්මය ඉහළ නැංවීම සහ අපනයන බෝග ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශ්වකරුවන් වෙත වඩා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ ඉහල මිලක් සපයාදීම අරමුණුකොටගනිමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා ඇති ඒකකය ව්‍යාපාර උපදේශන ඒකකයයි (BCU). මෙමඟින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) වැනි නව්‍ය කෘෂිකාර්මික සහ පිරිසැකසුම් ප්‍රමිතීන් මෙන් ම කාබනික වගා පිහිටුවීම හා සහතිකකරණය, HACCP සහ Fair-trade සහතිකකරණය යන ප්‍රමිතිකරණ ක්‍රියාවලි ප්‍රවර්ධනය කරනු ලබයි. මීට අමතරව ප්‍රාථමික කුළුබඩු නිෂ්පාදනවල ගුණාත්මය පරීක්ෂාකොට තත්ත්ව සහතික ලබාදීම, අගය එකතු කළ නිෂ්පාදන සැකසීම ප්‍රවර්ධනය සහ කුළුබඩු වෙළෙඳාම ආශ්‍රිත නව ව්‍යවසායකයින් සඳහා උපදේශකත්වය සැපයීම යන කාර්යයන්ද ව්‍යාපාර උපදේශන ඒකකය මඟින් ඉටුකරනු ලැබේ. එමෙන්ම කුළුබඩු නිෂ්පාදකයින් සහ ගැනුම්කරුවන් සම්බන්ධ කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම ද ව්‍යාපාර උපදේශන ඒකකයෙන් ඉටුවන සුවිශේෂ කාර්යභාරයකි.
පාරිසරික හරිත ගම්මාන වැඩසටහන (කාබනික වැඩසටහන)
අපනයන කෘෂි බෝග වගාකරන ගොවි කණ්ඩායම් කාබනික වගා සමිති වශයෙන් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ වගා ඉඩම් සාම්ප්‍රදායික කෘෂි ක්‍රියාකාරකාරම්වල සිට කාබනික වගා ඉඩම් දක්වා ප්‍රවර්තනය කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය ආයෝජන ආධාර ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදුවේ. මෙහි දී ලියාපදිංචි කරගන්නා අපනයන බෝග කාබනික වගා ගම්මාන සඳහා වගා ආයෝජන ආධාර ලෙස හෙක්ටයාරයකට වසරකට රුපියල් 30,000.00 බැගින් වසර දෙකක් සඳහා මූල්‍යමය ආධාර ද, කාබනික ලෙස පරිවර්තන කාල සීමාව අවසානයේ දී අන්තර්ජාතිකව පිළිගත් කාබනික ප්‍රමිති සහතිකයක් මුල් වසර තුන (3) තුළ ලබාගැනීම සඳහා එම වසර තුනේ දී පිලිවෙලින් 150,000.00, 100,000.00 සහ 50,000.00 වශයෙන් මූල්‍යමය දිරිගැන්වීම් එකී ගොවි සංවිධාන වෙත ලබාදීම ද මේ යටතේ සිදුවේ.
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහන
දේශීයව නිපදවෙන අපනයන බෝග අස්වැන්නේ ගුණාත්මය ඉහල නැංවීමත්, පාරිසරික හානිය අවම කරමින් සෞඛ්‍යාරක්ෂිත කුළුබඩු නිෂ්පාදනයත්, සේවක සුබසාධනය සහ සමාජ සාධාරණත්වය සුරැකෙන පරිදි ආර්ථික වශයෙන් ශක්‍ය, පාරිසරික වශයෙන් හිතකාමී, සමාජමය වශයෙන් ඵලදායී තිරසාර අපනයන බෝග නිෂ්පාදනය මෙම අපනයන බෝග යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන යටතේ සිදුවේ. මෙහි දී මෙම ප්‍රමිති සහතිකය ලබාගැනීමට අපේක්ෂාකරන අපනයන බෝග වගාකරුවන්හට අයදුම්පත්‍රයක් යොමුකිරීමෙන් සහ එම ප්‍රමිති නිර්ණායක නිසි පරිදි අනුගමනය කිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය (SLS) සහිත මෙම GAP ප්‍රමිති සහතිකය සම්පූර්ණයෙන් ම නොමිලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි ය.
අභ්‍යන්තර විගණන පිරික්සුම් ලැයිස්තුව
ගොවිපොල තත්ත්ව කළමනාකරණ සැලැස්ම
යහපත් නිෂ්පාදන ක්‍රියා පිළිවෙත් (GMP) වැඩසටහන
කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලියේ අස්වනු නෙලන අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වන අවසන් නිෂ්පාදිතය සකස් කිරීම දක්වා සියලු පියවරයන් යහපත් නිෂ්පාදන ක්‍රියා පිළිවෙත් ප්‍රමිතිකරණයට යටත් වේ. ගුණාත්මයෙන් යුතු කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන සඳහා දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපොල තුල වර්ධනයවන ඉල්ලුම සැලකිල්ලට ගෙන ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත්කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ අපනයන බෝග එකතු කරන්නන්, ගබඩාකරුවන්, පිරිසකසුම්කරුවන් මෙන් ම අගය එකතු කළ නිෂ්පාදන සකසන්නන්හට එම ප්‍රමිතිමය පරිවර්තනය සිදුකිරීම සඳහාත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් හෝ පිළිගත් වෙනත් සහතිකකරණ ආයතනයකින් GMP සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය උපදේශකත්වය සහ මඟපෙන්වීම සිදුකරනු ලැබේ. මෙමඟින් අවම රුපියල් 500,000.00 හෝ ඊට වැඩි නිෂ්පාදන ආයෝජන සඳහා රුපියල් 50,000.00 සිට රුපියල් 125,000.00 දක්වා, ආයෝජනයේ ප්‍රමාණය මත දිරිගැන්වීමේ දීමනාවක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පිරිනමනු ලැබේ.
ප්‍රාථමික කුළුබඩු නිෂ්පාදන සඳහා තත්ත්ව පරීක්ෂාව හා සහතික ලබාදීම
දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෑම දිස්ත්‍රික් කාර්යාලයක ම මෙන් ම ගොවිජන සේවා මධ්‍යස්ථානවල පිහිටි අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී කාර්යාලවල, කුළුබඩු ගුණාත්මය පරීක්ෂා කිරීම සඳහා වූ කුඩා පරිමාණයේ විද්‍යාගාර පහසුකම් ස්ථාපනයකොට ඇත. මෙමඟින් වියලා සකස්කළ ගම්මිරිස්, කුරුඳු, කරාබු, සාදික්කා, කෝපි වැනි නිෂ්පාදනවල මූලික තත්ත්ව වාර්තාවක් නොමිලයේ ලබාගැනීමේ හැකියාව ඇත.
මීට අමතරව වගා ඉඩම්වල පාංශු තත්වය පරීක්ෂා කරගැනීමටත්, ඒ අනුව පාංශු පෝෂකත්වය දියුණු කරගැනීමට අවශ්‍ය නිර්දේශ වාර්තාවක් ලබාගැනීමටත් මෙම කුඩා විද්‍යාගාර වැඩසටහන යටතේ පහසුකම් සලසා ඇත.
නිෂ්පාදකයින් සහ ගැනුම්කරුවන් සම්බන්ධීකරණය
අපනයන බෝග ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරගැනීමට අපේක්ෂා කරන වගා හිමියන්, එකතු කරන්නන්, පිරිසකසුම්කරුවන් හෝ ප්‍රාථමික හෝ ද්විතියික නිෂ්පාදන සකස් කරන්නන් හට සාධාරණ වෙළඳපොළක් සොයාගැනීම පහසු කිරීම සහ දෙස් විදෙස් ගැනුම්කරුවන් හට ප්‍රමිතියෙන් යුත් කුළුබඩු නිෂ්පාදන සපයා ගැනීම පහසු කිරීම මෙන්ම ඒ සඳහා උපායමාර්ගික මඟ පෙන්වීම තුලින් නිෂ්පාදකයින් සහ ගැනුම්කරුවන් සම්බන්ධ කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම මේ යටතේ සිදුවේ. නව්‍ය නිෂ්පාදන සිදුකරන්නන් සඳහා මෙන්ම කුළුබඩු ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනික ව්‍යවසායකයින් සඳහා මෙමඟින් පුළුල් මඟපෙන්වීමක් ලබාගත හැකි ය. මේ සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම ද ව්‍යාපාර උපදේශන ඒකකය මඟින් සිදුකරනු ලබයි.